පසුගිය සති එකහමාරක පමණ කාලයක් මුළු රටේ ජනතාවගෙන් හතරෙන් තුන් පංගුවක්ම කතා කළේ වාස් ගුණවර්ධන ගැනයි. එහෙත් මේ වන විට ඒ ගැන තිබූ ඝෝෂාව නොඇසෙන තරම් හීන් කෙඳිරිල්ලක් බවට පත් වී ඇත. මන්ද වාස් ගුණවර්ධනගේ කතාවට නොදෙවැනි “මෝටාර්” රටේ තැනින් තැන පිපිරී ජනතාවගේ අවධානය ඒවාට යොමු වූ බැවිනි. බස්නාහිර උතුර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ අනුදැනුම මත මිනිසෙක් පැහැරගෙන ගොස් මරා දැමුවා යැයි කියන සිද්ධිය මේ තරම් ඉක්මනින් රට්ටුන්ට අමතක වී යන්නට ඇත්තේ වයඹ පළාතේ නවගත්තේගම මන්ත්‍රීවරයෙකු වෘෂභ වෙස් ගෙන පාසල් ගුරුවරියක් දණ ගැස්ස වූ බව පැවසුණු සිද්ධිය නිසා විය හැක. එහි උණුසුම පහව යන්නටත් මත්තෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් තමන් ඉගෙනගත් පාසලේ විදුහල්පතිට පහරදීමට මී වස්සෙක් මෙන් පන්නා ගිය පුවතක් ජනප්‍රිය වූ බැවින් විය හැක.
කෙසේ වෙතත් වාස් ගුණවර්ධන මේ වන විට කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ පසුවෙයි. බන්ධනාගාරයේ යැයි කීවාට ඔහු පසුවන්නේ බන්ධනාගාර රෝහලේ වෙනම අංශයක පිහිටි නිලධාරි විවේකාගාරයේ බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

No comments:
Post a Comment