Wednesday, June 5, 2013

ඩෙංගු වැළඳී නීති පීඨසිසුවිය මියයයි

ඩෙංගු වැළඳී නීති පීඨසිසුවිය මියයයි
කොළඹ නීති පීඨයේ 2 වැනි වසරේ සිසුවියක වන කෑගල්ල, මාවනැල්ලේ පදිංචි වී සිටි 22 හැවිරිදි නිසංසලා ප්‍රියන්ති සමරසිංහ මෙනවිය අද (05) උදේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඩෙංගු රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත් වූවාය. ඉකුත් දින කිහිපය මුළුල්ලේ ඇය උණරෝගයෙන් පෙළෙමින් සිට ඇත. එහෙත් ළඟදී විභාගය පැවැත්වෙන නිසා අදාළ ප්‍රගති පැවරුම් සකස් කිරීමට ඇය දිගටම නීති පීඨයේ නේවාසිකව රැදී ඇත. ඉකුත් 30 වැනිදා නිසංසලා, නීති පීඨ නේවාසිකාගාරයේ නාන කාමරයේ සිහි නැතිව ඇද වැටී ඇත. සෑහෙන වේලාවක් ඇය සිහිසුන්ව නාන කාමරයේ වැටී සිටියදී මිතුරියන් විසින් සොයා ගෙන වහාම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. ඉන්පසු නීති පීඨයේ අධිකාරිය විසින් සිදු කළ පරික්ෂණයකදී නේවාසික ‍ගොඩනැගිල්ලේ ඩෙංගු මදුරු කීටයන් විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇත. 
නීති පීඨ ශිෂ්‍ය සංගම් සභාපති සජිත් මිහිර බණ්ඩාර ශිෂ්‍යයා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙසේය. 

“පසුගිය මාස දෙක තුළ නීති පිඨයේ හා නේවාසිකාගාරයෙන් ඩෙංගු රොගී සිසු සිසුවියන් විසි දෙනෙකු පමණ හමුවුණා. මේ සම්බන්ධව පාලන අධිකාරියට දැනුම් දුන්නා. නමුත් නිසංසලා ප්‍රියන්ති සිසුවිය සිහි නැතිව නාන කාමරයේ ඇද වැටෙන තුරු පාලන අධිකාරිය ගත් පියවරක් පෙනුනේ නෑ.” රෝහලට ඇතුළත් කරන ලද නිසංසලා ප්‍රියන්ති සමරසිංහගේ එක් කනකින් රුධිරය වහනය වූ බවත්, ඊට පුළුන් කැබැල්ලක් තබනු දුටු බවත් එම අවස්ථාවේ රෝහලේ නිසංසලා සමග සිටි මිතුරියන් තමන්ට පැවසූ බවත් සජිත් මිහිර බණ්ඩාර පවසයි

No comments:

Post a Comment