ඒ ජීවිතය කෙළවර වීමක්ම නොවේ. සතුරු බිය, ධන විනාශය, ඉන්ද්‍රියයන්ට හානි පැමිණීම්, බරපතළ රෝගාබාධ, බන්ධනාගාරගත වීම් ආදී තව බොහෝ දේ මාරක ලෙසම ජ්‍යොතිෂයෙන් පෙන්වා දී තිබේ. එහෙත්, බොහෝ අය මාරකයක් යයි කියූ පමණින් භීතියට පත්වන්නේ ඔවුන් දන්නා පරිදි ඒ කිසිලෙසකින් හෝ වළක්වා ගත නොහැකි ආකාරයට සිදුවන ජීවිත හානියක්ය යන අදහසිනි.ජ්‍යොතිෂය තුළින් යමකුගේ ජීවිතය හා සම්බන්ධ ඕනෑම වැදගත් සිද්ධියක් පැවැසීමට, විග්රහ කිරීමට ඇති හැකියාව වර්තමානයේ ජ්‍යොතිෂවේදීන් යැයි කියා ගන්නා සියලුම දෙනා සතු වූවක් නොවේ. එහෙත්, නිසි ලෙස උගත් දැනුම් සම්භාරයකින් පිරිපුන් ජ්‍යොතිෂවේදියකුට ජ්‍යොතිෂය සිද්ධාන්ත මත පදනම්ව කෙනෙකුගේ මරණය සිදුවන කාලවකවානු පමණක් නොව, ඒ මරණය සිදුවන්නේ බොහෝ පිරිසක් අතර ද, නිවස තුළ ඈත දුර බැහැරක ද, රටින් පිටතදී ද ආදී තොරතුරු පවා පැවැසීමට පවා හැකියාව තිබේ. එහෙත් ඒ සඳහා ජ්‍යොතීර්වේදය ගැඹුරටම හැදෑරිය යුතුය. අනික් කරුණ නම් එබඳු හැකියාවක් තිබූ පමණින් එවැනි දේ පැවැසීම සැබෑ ජ්යෙතීර්වේදියකු තුළින් දැකිය හැකි ලක්ෂණයක් නොවීමය.
පුරාතන සෘෂිවරුන් පැවැසූ ජ්‍යොතිෂයේ ආචාරධර්ම සුරකින ශ්‍රේෂ්ඨ ජ්‍යොතීර්වේදියකු කිසිදිනෙක කෙනකුගේ ජීවිතයට බිය ත්‍රාසය හෝ මැරි මැරී ජීවත්වන්නට හේතු වන සිතුවිලි ඇතිකරවන ප්‍රකාශ නොකරති. ජ්‍යොතිෂ ප්‍රකාශයක් හැමවිටම අනාගතය යහපත් කරවන ධනාත්මක සිතුවිලි ජනිත කරවන ප්රකාශනයක් විය යුතුමය. ඒ තුළින් සිදුකරන්නේ මිනිස් ජීවිතවලට අසීමිත සේවාවකි. ජ්‍යොතිෂානුකූලව කෙනකුගේ සිතට එලෙස ඇතුළු කරන යහ සිතුවිලි කොතරම් දුක් ගැහැට මැද වුවද ජීවිතය ජයගන්නට සපයන මාර්ගෝපදේශයකි.
මෙහිදී බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවන විශේෂ කරුණක් ද තිබේ. වත්මන් ජ්‍යොතිෂය තුළ “මාරක” යන වචනය ඕනෑ තරම් භාවිතා වුව ද සම්භාව්‍ය ජ්‍යොතීර්වේදයේ කිසිදු තැනක මෙම මාරකය යන වදන නොයෙදෙයි. එය ජ්‍යොතිෂයේ විග්රහ වන්නේ අනිෂ්ට යන වදනිනි. අනිෂ්ට යන්නෙහි අරුත ඉටු නොවන යන්නය. එහිදී බාල අනිෂ්ටයක් යනු බාල කාලයේ ආයුෂ ක්ෂය වීමේ තත්ත්වයකි. චන්ද්‍ර අනිෂ්ට ලෙස පුරාතන ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ සඳුගේ බලපෑමෙන් ආයුෂ හීන වීමේ ස්වභාවයයි. අප මේ සඳහා ප්‍රායෝගික නිදසුනක් ගනිමු.
අප නගරයක මහා මාර්ගයක් හරහා වැටී ඇති කහ ඉර පනින අතරේ අප දෙසට වේගයෙන් ඇදී එන වාහන අපි ඕනෑතරම් දැක ඇත්තෙමු. ප්‍රායෝගික වශයෙන් සිතන විට එය ද අප කරා වේගයෙන් එළැඹෙන එක් මාරකයකි. එහෙත්, අප ඒ වාහනයට යට වී මරු මුවට පත් වෙතැයි ඒ ඔස්සේ කිසිවකුටත් අනාවැකි පළ කළ නොහැක. මන්ද යත් එම වාහනයේ වේගය බාල වීම අපගේ ගමන් වේගය වැඩි වීම ආදී හේතු මත එම අනතුර මග හැරෙන බැවිනි. එහෙත් යන්තම් ජ්‍යොතිෂය කටේ තොලේ ගාගත් අත්දැකීම්වලින් හීන ජ්‍යොතිෂවේදීන් යයි පවසන්නවුන් කෙනෙකුගේ හඳහනක් දුටු පමණින් දිස්වෙන ඇතැම් මාරක යයි සඳහන් ග්‍රහ පිහිටීම් උලුප්පා පෙන්වමින් ජනතාව බියපත් කරවන්නට පෙළඹෙනු දැකිය හැකිය. මෙබඳු ග්‍රහ පිහිටීම් අපට ද නොයෙක් වර හමුවෙයි. සඳු පාපීන් සමග 6, 8, 12 රාශීන් හි හිඳීම ඕනෑම ජ්‍යොතීර්වේදියකුට දුටුවනම පෙනෙන මාරකයකි. අටවැන්න අධිපතියා හා ලග්නාධිපතියා පාපීන් හා එකතු වීම හෝ පාපී ග්රහයෙකුගේ දෘෂ්ටියට ලක්වීම ආයුෂ අඩු බව පෙන්වන තවත් ග්‍රහපිහිටීමකි. 8 වැන්නේ රවි දුර්වලව හිඳීම ගින්දරින් හෝ උෂ්ණ රෝග ආදියෙන් හානි පෙන්වන ග්‍රහ පිහිටීමකි. 8 වැන්නේ කුජ සිටීම අවි ආයුධ හෝ අනතුරු හේතුවෙන් හානි පැමිණිය හැකි බවට ඉඟි කිරීමකි.
නමුදු නිසි ලෙස ජ්‍යොතිෂය හදාරා නැති ආධුනිකයන් පෙර කී ආකාරයේ ග්‍රහ පිහිටීම් දුටු පමණින් ඒවා මාරක බවම පවසා පුද්ගලයන් බියට පත් කර ආර්ථික වාසි සලසා ගනු දැකිය හැකිය. එහෙත් ඒ අය එලෙස දකින මාරක භංගකර දැමීමට හේතු වන දෝෂ භංග යෝග බොහෝ විට එම ග්‍රහචාරය තුළ තිබෙනු නොදැකීම අවාසනාවකි.පාපී දෘෂ්ටියෙන් තොරව ගුරු සඳු එකට බලවත්ව ලග්නයේ සිටීම, ගුරු සිකුරු බලවත්ව කේන්ද්‍රගතව සිටීම උපරිම ආයුෂ වළඳන ග්‍රහ පිහිටීමකි. මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති විට ද මාරක අවස්ථාවන් මගහරවමින් ආයුෂ විඳීමට මගසලසනු ඇත. සිකුරු කේන්ද්‍රගතව හිඳිමින් සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීම බැලූබැල්මට දක්නට ඇති මාරක භංග කරවන ග්‍රහ යෝගයකි. ලග්නාධිපති බලවත්ව හිඳීම ද දෝෂ භංග යෝගයකි. රාහු පාපී ග්රහයෙකු වුවද 3,6,11 රාශීන්වල පාපීන්ගෙන් තොරව රාහු හිඳීම කොතරම් මාරකයක් ලෙස පෙනුණ ද ඒවායින් බලපෑමක් ඇති නොකරවන ග්‍රහ පිහිටීමකි.ඉඳහිට දක්නට ඇති මාරක යෝග අතර පෙර කී ආකාරයට දෝෂ භංග යෝග ඕනෑතරම් පිහිටන අවස්ථා තිබේ. නමුත් ජ්‍යොතීර්වේදී දැනුම කෙසේ වෙතත් මුකරි බව සහ වාචාල බව අවියක් කර ගනිමින් රූපවාහිනී මැදිරි තුළ සිට අසරණ ජනතාව බියට පත් කරන ජ්‍යොතීර්වේදීන්ගේ නාමයෙන් පෙනී සිටින ඇතැම් කූට ජාවාරම්කාරයන් ගෙන් මෙරට ජන සමාජයට සේම මෙම උතුම් ජ්‍යොතිෂ ශාස්ත්‍රයට සිදුවන හානිය සුළුපටු නොවේ. එනිසා අසරණයන් මුලාකොට ඔවුන්ගේ ඉනඉහ අත ගා ගන්නා මෙබඳු කපටි කයිරාටිකයන් නීතියේ රැහැනට නතු කරගත හැකි නව නීති සම්පාදනය කිරීමේ කාලය ශීඝ්‍රයෙන් පසුවෙමින් තිබේ.





